සුවිශේෂ ලකුණු ක‍්‍රමයක් යටතේ දුෂ්කර සේවයේ යෙදෙන සියලූ ම ගුරුවරුන්
ඇගයීමට පියවර ගන්නවා  -  අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන


දන්නා හඳුනන, හිතවත්කම් ඇති අය නගරයේ පහසුකම් සපිරි පාසල්වලටත් නොදන්නා නොහඳුනන කිසිම හිතවත්කමක් නැති අය ඈත දුෂ්කර පළාත්වලටත් ස්ථාන මාරු ලබාදීමේ අසාධාරණයට ලක්වන්නට කිසිම ගුරුවරයෙකුට ඉඩ නොතබන බවත්, ගුරු ස්ථාන මාරු ලබාදීමේ දී දුෂ්කර සේවයේ යෙදෙන සියලූ ම ගුරුවරුන්ට ඉහළ ලකුණු අගයක් ලබාදෙමින් ඔවුන් ඇගයීමට ලක්කරන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. එමෙන්ම වත්මන් රජය යටතේ ලබාදෙන සියලූ ගුරු පත්වීම් පාසල පදනම් කරගෙන ලබාදෙන නිසා කිසිම හේතුවක් මත පත්වීම ලබාදෙන පාසල වෙනස් කිරීමට ඉඩ අවකාශ නොලැබෙන බවත් අමාත්‍යවරයා පවසයි.


අමාත්‍යතුමන් මේ බව පැවසුයේ, අලූතින් බිහිවන ද්විතීයික පාසල් සඳහා විද්‍යා හා ගණිත උපාධිධාරී 504 දෙනෙකුට නව ගුරු පත්වීම් ලබාදීම වෙනුවෙන් අද (21) බත්තරමුල්ල ජන කලා කේන්ද්‍රයේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි. ඒ අනුව අද දින විද්‍යා උපාධිධාරීන් සඳහා ජාතික පාසල් 57කට සහ පළාත් පාසල් 210කට ගුරු පත්වීම් ලබාදුන් අතර, ගණිත උපාධිධාරීන් සඳහා ජාතික පාසල් 72කට සහ පළාත් පාසල් 165කට ගුරු පත්වීම් ලබාදෙන ලදී.
ලෝකයේ ඇති වන්දනීය වුත්, උත්තරීතර වූත් එකම වෘත්තිය ගුරු වෘත්තිය බවත්, එහි වටිනාකම හඳුනාගනිමින් දරුවන්ගේ වටිනා මිනිස් ජීවිත ආරක්ෂා කරදීමේ වගකීම පැවරෙන්නේ ගුරුමව්පියවරුන්ට බවත්, ඒ නිසා තමන්ගේ ජීවිතය මෙන්ම දරුවන්ගේ ජීවිතය ද වටිනා බව සිතමින්, වඩාත් කැපවූ සේවයක් ලබාදීමට නවක පත්වීම්ලාභී සියලූ ගුරුවරුන් අදිටන් කරගත යුතු බව ද මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යතුමන් කියාසිටියේ ය.
මෙම අවස්ථාවට අධ්‍යාපන අධීක්ෂණ මන්ත‍්‍රී මොහාන් ලාල් ගේ‍්‍රරු මහතා, අධ්‍යාපන ලේකම්තුමා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

0 comments:

Copyright © 2012 අධ්‍යාපන අමාත්‍යාංශය - මාධ්‍ය ඒකකය.