තොරතුරු තාක්ෂණ ගුරුවරුන්ට තොරතුරු තාක්ෂණ උපාධි අවස්ථා ලබාදීමට
අධ්‍යාපන අමාත්‍යාංශය සහ UNIVOTEC ආයතනය අතර අවබෝධතා ගිවිසුමක්

පාසල් පද්ධතිය තුළ දැනට සිටින තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුවරුන් සඳහා තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය,  වෘත්තීය පුහුණු, නිපුනතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වන වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය UNIVOTEC  සමග එක්ව අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම ඊයේ (13) අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ‍්‍රයේ දී සිදු කෙරිණි.

ඒ අනුව, UNIVOTEC  ආයතනය මගින් මෘදුකාංග තාක්ෂණය, බහුමාධ්‍ය හා වෙබ් තාක්ෂණය, අන්තර්ජාල තාක්ෂණය සම්බන්ධ උපාධි පාඨමාලා හැදෑරීමට ගුරුවරුන්ට අවස්ථාව සැලසෙයි. සහනදායී පාඨමාලා ගාස්තුවත් යටතේ, වැටුප් සහිත අධ්‍යයන නිවාඩු මත මෙම උපාධි හැදෑරීමට හැකිවන අතර, සියලූ අයදුම්කරුවන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අයදුම් කළ යුතුය.
තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය ලංකාවේ පාසල් වෙත හඳුන්වා දුන් අවධියේ සිට මෑතක් වනතුරුම එම විෂය වෙනුවෙන් ම පත්වීම් ලද ගුරුවරුන් නොසිටිබවත්, දැනට පාසල් පද්ධතියෙහි සිටින එම ගුරුවරුන්ට විෂයට අදාළ මූලික උපාධිය ලබාගැනීම සඳහා මෙය කදිම අවස්ථාවක් වන බවත්, මෙහි දී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යතුමන් ප‍්‍රකාශ කළේ ය.
ඇමතිවරුන්, නිලධාරීන් මාරුවනවිට ප‍්‍රතිපත්තිමය ක‍්‍රියාමාර්ග වෙනස්වීම වැළැක්වීම මේ ආකාරයෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙහි අරමුණ බවත්, භෞතික සම්පත් පාසල්වලට ලබාදීම මෙන් ම පලදායී මානව සම්පත් පාසල් පද්ධතියට දායක කරගැනීම මෙම ප‍්‍රතිපත්තිමය ක‍්‍රියාමාර්ගවල අපේක්ෂාව බවත් මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේය. මේ අවස්ථාවට වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ  UNIVOTEC උපකුලපති මහාචාර්ය ටී ඒ පියසිරි මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ නීල් ගුණදාස මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

0 comments:

Copyright © 2012 අධ්‍යාපන අමාත්‍යාංශය - මාධ්‍ය ඒකකය.