"ලබන පාසල් වාරයේ සිට සෑම පාසලක ම ශරීර සුවතා වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම අනිවාර්යයි”
-    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන


ලබන පාසල් වාරයේ සිට ලංකාවේ සියලූ ම පාසල්වල උදෑසන ආගමික වතාවත් සිදුකිරීමෙන් පසු විනාඩි 10 ක කාලයක් ශරීර සුවතා වැඩසටහන් ක‍්‍රියාත්මක කළ යුතු බවට චක‍්‍රලේඛයක් මගින් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදෙන බවත්, පාසල් පද්ධතිය තුළින් නිරෝගී දරු පරපුරක් බිහිකිරීම මෙහි අරමුණ බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යතුමන් මේ බව ප‍්‍රකාශ කළේ, ඊයේ හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ පැවති හෝමාගම අධ්‍යාපන කලාපීය ක‍්‍රීඩා උත්සවයට ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වෙමිනි.

දරුවන් ක‍්‍රීඩාවලට සහභාගී කරවීම වඩාත් සුපරීක්ෂාකාරීව හා වගකීමෙන් යුතුව සිදුකළ යුතු නිසා ක‍්‍රීඩා අමාත්‍යාංශයත්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත්, අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ව ඒ සම්බන්ධයෙන් ප‍්‍රතිපත්තිමය ක‍්‍රියාමාර්ගයකට එළඹ සිටින බවත්, ඒ අනුව මැරතන් හා දිග දුර ධාවන තරග සඳහා සහභාගී වන සියලූ ම දරුවන් ඊට පෙර අනිවාර්ය වෛද්‍ය පරීක්ෂාවකට ලක්කිරීමට පියවර ගත යුතු බවට දැනටමත් චක‍්‍රලේඛ මගින් උපදෙස් ලබා දී ඇති බවත් මෙහි දී අමාත්‍යතුමන් පැහැදිලි කළේ ය.
සමස්ත ලංකා සහ ජාතික මට්ටමින් ක‍්‍රීඩා දක්ෂතා පෙන්වන සිසුදරුවන්ට පහේ ශිෂ්‍යත්වයෙන් වෙනත් පාසලකට යාමේදී අවම කඩඉම් ලකුණු සීමාවේ නොසිටිය ද එම දක්ෂතා වෙනුවෙන් ප‍්‍රසාද ලකුණු ලබාදීමට පියවර ගන්නා බවත්, විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු මට්ටම කරා ළඟා නොවූ එහෙත් ක‍්‍රීඩා දක්ෂතා පෙන්වන දරුවන්ට සරසවි ප‍්‍රවේශය ලබාදීමේ දී විශේෂ ප‍්‍රසාද ලකුණු ලබාදීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව පියවර ගන්නා බවත් තවදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ය.
මෙම අවස්ථාවට මුදල් නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, බස්නාහිර පළාත් හිටපු අමාත්‍ය ගාමිණී තිලකසිරි, පළාත් සභා මන්ත‍්‍රී මහේෂ් අල්මේදා යන මහත්වරුන්, ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

0 comments:

Copyright © 2012 අධ්‍යාපන අමාත්‍යාංශය - මාධ්‍ය ඒකකය.